Email

info@psunu.lk

Phone Number

+94 112 584 084

හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න – මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි

 

මෙරට පවතින උග්‍ර හෙද හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් දැනට විශ්‍රාම ගැන්වීමට ආසන්න වයසේ පසුවන සියලුම හෙද හෙදියන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවසාන දිනය වසර දෙකකින් කල් තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව අද (14) දින ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, මේ වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති අතර, රෝහල්ගත නොවී නිවෙස්වල පසුවන රෝගීන්ද සැලකූ විට එම සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.

ඩෙංගු රෝගීන් මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාමට මූලික හේතුව මදුරුවන් වුවද, එම රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා සිටින හෙද හෙදියන්ගේ සංඛ්‍යාව බරපතළ ලෙස අඩු වීම තත්ත්වය වඩාත් දරුණු වීමට හේතු වී ඇතැයි එහි සඳහන්.

වත්මන් රජය නවක හෙදියන් බඳවා ගැනීමට සූදානම් වුවද, ඔවුන්ගේ පුහුණු කාලයෙන් පසුව රෝහල් සේවයට අනුයුක්ත කිරීමට තවත් වසර 3ක් පමණ ගත වන බැවින්, පවතින සේවක ඌනතාවය මත දැනට එක් හෙද නිලධාරියෙකුට තිදෙනෙකුගේ වැඩ කොටසක් කිරීමට සිදුව තිබෙනවා.

මෙම දැඩි සේවා පීඩනය නිසා හෙද නිලධාරීන්ද රෝගී වීමේ ප්‍රවණතාවයක් පවතින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරනවා.

එබැවින් මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විශ්‍රාම යාමට ආසන්න හෙද නිලධාරීන්ගේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සෘජු හා අතිවිශේෂ පෞද්ගලික අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Quick Links

Work Hours

Public Services United Nurses Union

Copyright © 2026. All rights reserved.